ඉතිහාසය

‍බේරුවල ප්‍රාදේශීය සභා ඉතිහාසය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය තුළ පිහිටි බේරුවල ප්‍රාදේශීය සභාව තවත් එක් පළාත් පාලන ආයතනයකි. ඈත අතීතයේ සිට ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස බේරුවල වරාය ප්‍රසිද්ධියට පත්ව ඇත. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන් අප රට ආක්‍රමණය කිරීමට පැමිණියද අරාබි ජාතිකයන් මෙහි පැමිණියේ වෙළඳාම සඳහා පමණි. අරාබි ජාතිකයන් ලංකාවට පැමිණෙන විට ලංකාවේ රජ කළ “වත්තිම්” නම් රජු ඔවුන් සමඟ මිතුරු විය. ඉන්පසු  අරාබි වෙළඳුන්ට කරනු ලබන ගෞරවයක් ලෙස ඔවුන් රුවල් නැවෙන් ගොඩබිමට පැමිණි ස්ථානය “බෑ රුවල” නමින් හැඳින්විය. පසු කාලීනව භාවිතයේදී මෙම ස්ථානය බේරුවල ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර බහුජාතික, බහු ආගමික බල ප්‍රදේශයක් ලෙස දියුණු විය.

අතීතයේ පටන් මෙහි පාලන බලය ග්‍රාමීය මට්ටමින් ආරම්භ වී ඇති අතර, ප්‍රාදේශීය සභාවක් බවට පත් වීමට පෙර අළුත්ගම හා දර්ගානගරය සුළු නගර සභා දෙකක් ලෙස පාලනය වී ඇත. මීට අමතරව ගම් කිහිපයක් ඵකතු වී පයාගල මග්ගොන්බද්ද සහ මාලෙවන්බද්ද ලෙස ගම්සභාපති පාලනය යටතේ ගම්සභා දෙකක් පැවත තිබේ. මෙසේ ලංකාව පුරා අවු: 30 ක් තිස්සේ පැවතුණු ගම් කාර්ය සභා සහ සුළු නගර සභා පාලන ක්‍රමය 1980 අංක 35 දරණ සංවර්ධන සභා පනතින් අහෝසි කරමින් දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය හදුන්වා දී ඇත. මෙම ක්‍රමය ද අවු: 07 ක් වැනි  කෙටි කාලයක් පැවතීමෙන් පසු 1987 අංක 15 දරණ පනත යටතේ ප්‍රාදේශීය සභා පිහිටුවා ඇත. ඵකී පනතේ 2 වන වගන්තියේ 1 වන උප වගන්තියෙන් සහ 4 වන වගන්තියෙන් පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාට පැවරුණු බලතල ප්‍රකාර 1987.05.12 දිනැති  අංක 453/7 දරණ ගැසට් පත්‍රයේ නියමය යටතේ 1988.01.01 දින සිට බේරුවල ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත.(විශේෂ විධිවිධාන ) පනතේ 4(2) වගන්තිය යටතේ ප්‍රාදේශීය සභාවේ විශේෂ කොමසාරිස් වී ඇත්තේ රංජිත් සමරතුංග මහතාය.